අභිලේඛන හැඳින්වීම

ඓතිහාසික තොරතුරු නිරවුල්ව හා නිවැරදිව සමාජගත කිරීමේ දී පැරණි භාෂාව හා බැඳුනු සාධක සුවිශේෂී ස්ථානයක් හිමිකරගනු ලබයි. ශ්‍රී ලංකාව පිළිබඳව සැලකීමේ දී අඛණ්ඩව ඉතිහාස තොරතුරු වාර්තාගත කරන ලද මහාවංශය ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගන්නා නමුදු එහි අන්තර්ගත තොරතුරු තහවුරු කරගැනීමටත් මහාවංශය තුළ මඟහැරී ගොස් ඇති ඓතිහාසික සිදුවීම් හඳුනාගැනීම සඳහාත් ඉවහල් වන පැරණි ලේඛන මුලාශ්‍ර තවදුරටත් හඳුනාගත හැකි වෙයි. එම සියලු ලේඛන පොදුවේ ‘අභිලේඛන’ ලෙස සිංහල භාෂාව තුළ ව්‍යවහාර වෙයි. ශ්‍රී ලංකාව තුළ අක්ෂර භාවිත කරන ලද බවට වූ පැරණිත ම සාධක හමුවන්නේ අනුරාධපුර සල්ගහවත්ත නම් ස්ථානයේ සිදුකරන ලද පර්යේෂණය තුළිනි. ඒ අනුව ක්‍රි.පූ 500 – 600 තරම් ඈත අතීතයේ දී අපගේ මුතුන්මිත්තන් අක්ෂර භාවිත කරන ලද බව තහවුරු කරගෙන ඇත. මෙලෙස හමුවන අක්ෂර මැටි බඳුන් මත සටහන් තබන ලද ඒවා වෙයි. මෙරට විධිමත් ලේඛන සම්ප්‍රදාය මහින්දාගමනයත් සමඟ සිදුවුව ද ඉන් පෙර සිට ම ශ්‍රී ලාංකිකයින් අක්ෂර පිළිබඳව අවබෝධයෙන් පසුවූ බවට ඉහත සොයාගැනීම පැහැදිලි නිදසුනකි. ශිලා පසුබිමක් මත සටහන් කරන අක්ෂර සේ ම මැටි පුවරු, තඹ තහඩු, ගඩොල්, පැරණි කාසි, දැව, වීදුරු ආදී මතුපිට භාවිත කරමින් ලියන ලද පැරණි ලේඛන සියල්ල ම අභිලේඛන ලෙස හඳුවාදෙනු ලබයි. ශිලා ලේඛන හැරුණු විට ඉතිහාසය වාර්තා කර ඇති සන්නස්, පත්තිරු, පුස්කොළ පොත්, මැටි ඵලක ආදී වූ සියල්ල අභිලේඛන යටතේ විස්තර වෙයි. මෙම අභිලේඛන අතුරින් ශ්‍රී ලාංකේය ඉතිහාසය හැදෑරීම උදෙසා ශේෂව පවතින පැරණිත ම ප්‍රධාන මුලාශ්‍රය වශයෙන් ශිලා ලේඛන වැදගත් වෙයි. ශිලා ලේඛන යන හැඳින්වීමෙන් ම එය ශිලා මතුපිටක් මත සටහන් තබන ලද ලේඛන විශේෂයක් බව පැහැදිලි වෙයි. බොහෝවිට ශිලා ලේඛන මඟින් නොයෙකුත් ප්‍රදානයන් සිදුකර ඇති බැවින් ඉර හඳ පවත්නා තෙක් එම දීමනා පවත්වාගෙන යාම යන අරමුණ මත ශෛලමය මතුපිටක් මෙම ලිපි සටහන් කිරීම උදෙසා තෝරාගන්නට ඇත. තවද බාහිර බලපෑමකින් තොරව ස්වභාවිකව මේවා වේගයෙන් දිරාපත්වීමේ සම්භාවිතාවය අවම වීම ද මූල බ්‍රාහ්මී ලේඛන කලාව තුළ ශිලාලිපි ප්‍රචලිත වීමට හේතු පාදක වන්නට ඇත. ශ්‍රී ලංකාවේ ශිලාලිපි පිළිබඳව මෑත ඉතිහාසය තුළ සඳහන් වන පැරණිත ම සඳහන වශයෙන් පිළිගනු ලබන්නේ රොබට් නොක්ස් විසින් ගඩලාදෙණිය විහාරයෙහි දක්නට ලැබෙන ගිරි ලිපිය පිළිබඳව කර ඇති සඳහන වෙයි. රොබට් නොක්ස් ශ්‍රී ලංකාව තුළ සිරකරුවකු වශයෙන් ගත කරන ලද කාලය අළලා ඔහු විසින් රචිත “An Historical Relation of the Island of Ceylon” නම් ග්‍රන්ථය තුළ ඒ පිළිබඳව මෙලෙස සඳහන් කර ඇත.

“දකින්නවුන් සියලු දෙනාටම විස්මය එළවන ගල් පර්වත මත කොටන ලද ඇතැම් පැරණි ලියවිලි මෙහි දක්නට ලැබෙයි. කන්ද උඩරටට ද උතුරු පෙදෙසට ද අයත් නා නා පළාත් වල නා නා විධ මහා පර්වතයෝ ඇත්තාහ. අයම් විතරින් බඹ ගණනක් පැතිර සිටිනා සේ ල කැප නැසුම දක්වා තිබෙන පරිද්දෙන් මෙම පර්වත මතා මේ සටහන් ගැඹුරු ලොකු අකුරු වලින් කොටා තිබේ. කිසිවෙකුටත් මේවා කියවන්නටවත් මේවා කුමක්ද යනවග තේරුම් ගැනීමටවත් නුපුළුවන.”

රොබට් නොක්ස්

උත්තිය රජුට අයත් වන ලෙන් ලිපි ත්‍රිත්වයක් මිහින්තලය ආශ්‍රිතව හඳුනාගෙන තහවුරු කරගැනීම හේතුවෙන් මෙරට පැරණිත ම ශිලාලිපි ක්‍රි.පූ තෙවැනි සියවසට අයත් වන බව හේතු සාධක සහිතව සෙනරත් පරණවිතානයන් පෙන්වා දී තිබෙයි. ශිලා ලිපි ලිවීමේ දී සාමාන්‍ය පරිදි වමේ සිට දකුණට ලියන ලද ලිපි මෙන්ම දකුණේ සිට වමට ලියන ලද ලිපි ද හඳුනාගත හැක. එසේම මුල් පෙළ වමේ සිට දකුණට ලියා දෙවන පෙළ දකුණේ සිට වමට ලියන ලද ලිපි ද මෙම ලිපි අතර වෙයි. මේ ආකාරයන්ගෙන් පරිබාහිරව වෙනත් විවිධ හැඩයන් සහිතව ලියන ලද ශිලා ලේඛන ද සුළු වශයෙන් හඳුනාගත හැකි වෙයි.