ශ්‍රී ලංකාවේ සෙල්ලිපි අධ්‍යයනයන් සිදු කරන ලද විද්වතුන්

ශ්‍රී ලංකාවෙහි ශිලා ලේඛන පිළිබඳව මෑත කාලීනව වැදගත් මෙහෙයක් ඉටු කරන ලද පළමුවැන්නා ලෙස එච්.සී.පී.බෙල් මහතා සඳහන් කළ හැක. නමුත් ඔහුට ප්‍රථමයෙන් තවත් කිහිපදෙනෙකු ඒ පිළිබඳව අවධානය යොමු කරන ලද බව හඳුනාගත හැක.

17 වන සියවස මැද භාගයේ දී ශ්‍රී ලංකාවේ සිරකරුවකු වශයෙන් වාසය කරන ලද රොබට් නොක්ස් විසින් ගඩලාදෙණිය ශිලා ලේඛනය පිළිබඳව සඳහන් කර ඇත. ඒ ඔහු විසින් ශ්‍රී ලංකාව තුළ ඔහුගේ අත්දැකීම් පාදක කරගනිමින් රචනා කරන ලද An Historical Relation of the Island of Ceylon  ග්‍රන්ථයෙහි වෙයි.

 

 “දකින්නවුන් සියලු දෙනාටම විස්මය එළවන ගල් පර්වත මත කොටන ලද ඇතැම් පැරණි ලියවිලි මෙහි දක්නට ලැබෙයි. කන්ද උඩරටට ද උතුරු පෙදෙසට ද අයත් නා නා පළාත් වල නා නා විධ මහා පර්වතයෝ ඇත්තාහ. අයම් විතරින් බඹ ගණනක් පැතිර සිටිනා සේ ල කැප නැසුම දක්වා තිබෙන පරිද්දෙන් මෙම පර්වත මතා මේ සටහන් ගැඹුරු ලොකු අකුරු වලින් කොටා තිබේ. කිසිවෙකුටත් මේවා කියවන්නටවත් මේවා කුමක්ද යනවග තේරුම් ගැනීමටවත් නුපුළුවන. සිංහලයන්ගෙන් සහ මරක්කල, මලයාලි සහ ඉන්දියානු ජාතිකයන්ගෙන් ද මා ඇසූ නමුත් ඔවුන් අතුරෙන් කිසි කෙනෙක් මේ ගැන නොදත් හ … ”

 

මේ අනුව පෙනෙන්නේ 17 වන සියවස වන විටත් මිනිසුන් පැරණි ශිලා ලේඛන පිළිබඳව අවධානයෙන් පසුවූ බවයි. පැරණි කාසි වල තිබූ ග්‍රීක සහ බ්‍රාහ්මී අක්ෂර පාඨ උපයෝගී කරගනිමින් ජේම්ස් ප්‍රින්සෙප් විසින් බ්‍රාහ්මී අක්ෂර මාලාව හඳුනාගැනීම ශ්‍රී ලංකාවේ සෙල්ලිපි අධ්‍යයන ඉතිහාසය තුළ ද වැදගත් සංධිස්ථානයක් විය. ශ්‍රී ලංකාවේ සෙල්ලිපි පිළිබඳව විධිමත් අධ්‍යයනයක නිරත වූ ටර්නර් නම් පඬිවරයාගේ ද උපකාර සහිතව කියවන ලද ලංකාවේ පැරණි සෙල්ලිපි 06 ක් 1836 වර්ෂයේ දී ජේම්ස් ප්‍රින්සෙප් විසින් බෙංගාල රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට ඉදිරිපත් කර ඇත.

1872 වසරේ දී ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේ දී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු භාර නිලධාරියා වශයෙන් 1874 වර්ෂයේ දී ගෝල්ඩ් ස්මිත් පත්කරන ලදී. 1875 වර්ෂයේ පටන් ඔහු විසින් ශිලා ලේඛන පර්යේෂණයන් සිදුකර තිබෙයි. ඔහු විසින් අනුරාධපුර නගරය අවට හා හම්බන්තොට ආශ්‍රිතව විසිරුණු ශිලා ලේඛන පිළිබඳව අධ්‍යයනය කළ අතර ඒ පිළිබඳව වාර්තාවක් ද ආණ්ඩුව වෙත ඉදිරිපත් කර ඇත. හම්බන්තොට ප්‍රදේශයෙන් හඳුනාගන්නා ලද ශිලාලිපි සඳහා රාජ්‍යත්වයේ අනුපිළිවෙලට අනුක්‍රමික රටාවක් ගොඩනගමින් ඒවා වර්ගීකරණය කිරීමට ගෝල්ඩ් ස්මිත් කටයුතු කර ඈත. එම වර්ගීකරණය පහත පරිදි වෙයි.

  • බුදුදහම මෙරට මුල් බැසගැනීමේ සිට ක්‍රිස්තු වර්ෂ ආරම්භය දක්වා
  • ක්‍රිස්තු වර්ෂ ආරම්භයේ සිට ක්‍රි.ව. 4 වන සියවස දක්වා
  • ක්‍රි.ව. 4 වන සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස දක්වා

 

ගෝල්ඩ් ස්මිත් හදිසියේ අභාවප්‍රාප්ත වීම හේතුවෙන් එම තනතුර සඳහා 1878 වසරේ දී එඩ්වඩ් මුලර් පත් කරන ලදී. ඔහු විසින් ශිලාලේඛන අධ්‍යයනය වෙත සිදු කරන ලද වැදගත් ම කර්තව්‍ය වන්නේ කොටස් දෙකකින් යුක්තව ඔහු විසින් ඉදිරිපත් කරන ලද Ancient Inscriptions of Ceylon නම් කෘතිය වෙයි.

1883 – 1890 අතර කාලයේ දී මෙරට ආණ්ඩුකාරවරයා වූ සර් ආතර් එච්.ගෝර්ඩන් විසින් පුරාවිද්‍යා කොමසාරිස්වරයා වශයෙන් පත් කරන ලද එච්.සී.පී බෙල් විසින් රචිත කෑගලු වාර්තාව ශිලා ලේඛන හා සම්බන්ධව වැදගත් කෘතියකි. එම ග්‍රන්ථය ප්‍රධාන තේමා ත්‍රිත්වයකින් යුතු වන අතර තෙවන කොටස වෙන්ව ඇත්තේ කෑගලු දිස්ත්‍රික්කයෙන් හමුවූ අභිලේඛන සඳහා ය. ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි සහ පුවරු ලිපි යනාදී වූ ශිලා ලේඛන ගණනාවක් පිළිබඳව එහි තොරතුරු අන්තර්ගත වෙයි. ඇතැම් ලේඛන සඳහා නේත්‍ර පිටපත් ද සපයා ඇති අතර රාජ්‍යත්වය අනුපිළිවෙලින් ඒවා පෙළගැස්වීම ද සිදුකර ඇත. බෙල් මහතා විසින් තම ධූර කාලය තුළ දී විශාල ශිලා ලේඛන ප්‍රමාණයක් අධ්‍යයනය කරන ලද අතර ඒවා ඇතුලත් කර Epigraphia Zeylanica කෘතිය සකසන ලදී. පළමුව කොටස් වශයෙන් පලකරන ලද මෙම ග්‍රන්ථය 1912 දී සියලු කොටස් එක් කරමින් පළමු වෙළුම ලෙස එළි දක්වා ඇත.

බෙල් මහතාගේ ධූර කාලසීමාව තුළ සෙල්ලිපි විශාල ප්‍රමාණයක නේත්‍ර පිටපත් ගෙන තිබීම ඉතා සුවිශේෂී කර්තව්‍යයක් වශයෙන් සඳහන් කළ හැකි වෙයි. වර්තමානයේ දී මෙම පිටපත් එකතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පුස්තකාලයෙහි එච්.සී.පී.බෙල් අනුස්මරණ එකතුව යටතේ වෙළුම් ත්‍රිත්වයකින් යුක්තව දැකිය හැක.

එච්.සී.පී.බෙල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි සේවය කළ කාලසීමාවේ දී මෙතෙක් දිනක් නේත්‍ර සටහන් පමණක් ගෙන තිබූ ශිලා ලේඛනයන් හි ස්පර්ශ ලාංඡන පිටපත් ගැනීම ද සුවිශේෂී කාර්යයක් විය. 1894 වර්ෂය වන විට මනා පුහුණුව ලද නිලධාරීන් යටතේ ස්පර්ශ ලාංඡන පිටපත් ලබාගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරුණු බව බෙල් මහතා සඳහන් කර ඇත. මෙලෙස ස්පර්ශ ලාංඡන පිටපත් සොයාගන්නා ලද පිළිවෙල අනුව ලේඛනයක් පවත්වාගෙන ගොස් ඇත. එම පිටපත් නිවැරදිව වාර්තා කිරීම සඳහා අනුක්‍රමාංකය, කෝරළය, ග්‍රාමය, පිහිටා තිබූ ස්ථානය, වර්ගය, රාජ්‍ය කාලය, වර්ෂය සහ සැලකිය යුතු කරුණු යන ක්‍රමවේදයන් භාවිත කර ඇත. එච්.සී.පී.බෙල් මහතා විසින් දමිළ ශිලාලිපි 48 ක් පිළිබඳව නාමාවලියක් ද සකසා ඇත.

එච්.සී.පී.බෙල් මහතා හා සමකාලීනයෙකු වූ හෙන්රි පාකර් මහතා විසින් 1909 වසරේ දී පළකළ Ancient Ceylon නම් ග්‍රන්ථයෙහි ශිලා ලේඛන 83 ක් පිළිබඳව තොරතුරු සඳහන් කර ඇත. ඒ.එම්.හොකාර්ට් මහතා පුරාවිද්‍යා කොමසාරිස්වරයා බවට පත් වීමෙන් පසුව 1923 වසරේ දී සෙනරත් පරණවිතානයන් ශිලාලේඛන සහයක තනතුරෙහි පිහිටුවීම සුවිශේෂී කාර්යයක් විය. හොර්කාට් මහතා සේවයෙහි නියුතු අවසන් කාලසීමාව තුළ දී පරණවිතාන මහතා ඔහු සමඟ එක්ව දකුණු පළාතේ සහ ඌව පළාතේ ස්ථාන රැසකින් සෙල්ලිපි හඳුනාගෙන ඇත.

1928 වසරේ දී ලංකා ශිලාලේඛන සංග්‍රහය තෙවන කාණ්ඩය සම්පාදනය කිරීම පරණවිතානයන් ආරම්භ කරන ලද අතර 1933 වසර වන විට එය මුද්‍රණය කළ හැකි විය. එසේම පරණවිතානයන් වැඩ බලන පුරාවිද්‍යා කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරන ලද 1933 වර්ෂයේ දී ලංකා විද්‍යා සඟරාවට ශිලාලිපි සාරාංශය යටතේ සෙල්ලිපි 417 ක තොරතුරු ඉදිරිපත් කරන්නට යෙදුණි.

1940 වර්ෂයේ ඔක්තෝම්බර් මස පළමුවැනි දින පරණවිතාන මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස පත්විය. 1934 – 1941 දක්වා වූ කාලය තුළ සංස්කරණය කළ ශිලාලේඛන සංග්‍රහයේ සිව්වන කොටස 1941 වර්ෂයේ දී මුද්‍රණය කරන ලදී. පරණවිතාන මහතා විසින් මෙහි සෙල්ලිපි 34 ක් සංස්කරණය කර තිබෙයි. දෙවන ලෝක යුද්ධය ආරම්භ වීම සමඟ පුරාවිද්‍යාව සඳහා දුෂ්කර කාලයක් උදවිය. ලංකා ශිලාලේඛන සංග්‍රහය කෘතිය මෙකල සම්පාදනය කිරීම දුෂ්කර වූ බැවින් පරණවිතානයන් මෙකල සීගිරි කුරුටු ගී කියවීම වෙත යොමු ව ඇත.

1956 වර්ෂය වන තෙක් පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ සමයේ දී සොයාගන්නා ලද ශිලා ලිපි රැසක් පිලිබඳ කෙටි තොරතුරු වාර්ෂික පුරාවිද්‍යා වාර්තාවල ඇතුලත් කර ඇත. බ්‍රාහ්මි ශිලාලේඛන පිළිබඳව තොරතුරු ඇතුලත් කරමින් පරණවිතානයන් විසින් සම්පාදනය කරන ලද Inscriptions of Ceylon ග්‍රන්ථය මෙරට ශිලාලේඛන අධ්‍යයනය උදෙසා විශාල දායකත්වයක් දක්වන ලද ග්‍රන්ථයකි.

මෙරට ශිලාලේඛන පිළිබඳව කටයුතු කරන ලද විද්වතුන් අතර මාලනී ඩයස් මහත්මිය ද වැදගත් වෙයි.1996 වසරේ දී ශිලාලිපි සංග්‍රහය III වෙළුම ලෙස සම්පාදිත ලක්දිව සෙල්ලිපි වලින් හෙළිවන ප්‍රත්‍යාර්ථ නාමයන්ගේ විකාශනය (ක්‍රි.පූ. 3 – ක්‍රි.ව.10 සියවස) යන ග්‍රන්ථය ශිලාලේඛන ව්‍යාකරණ පිළිබඳව ඉතා වැදගත් වන ග්‍රන්ථයකි.

1951 – 1959 යන කාලසීමාව තුළ මදුයන්ගොඩ විමලකිත්ති හිමියන් විසින් ශිලාලේඛන සංග්‍රහය යන නමින් කොටස් 5 කින් යුතු ග්‍රන්ථ මාලාවක් සකසා ඇත. 1956 වසරේ දී එවකට ශිලාලිපි අංශයේ උප පුරාවිද්‍යා අධිකාරීවරයා වූ ඩබ්ලිව්.එස්.කරුණාරත්න මහතා සිංහල ශිලාලේඛන යන නමින් සෙල්ලිපි 60 කින් සමන්විත කුඩා පොත් පිංචක් සකසන ලද අතර පොදු ජනතාව සහ පාසල් ළමුන් අතර සෙල්ලිපි පිළිබඳව මූලික අවබෝධයක් ඇති කරලීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වී ඇත.

1969 වර්ෂයේ දී කොත්මලේ අමරවංශ හිමියන් විසින් රචිත ලක්දිව සෙල්ලිපි කෘතියෙහි ශ්‍රී ලංකාවේ ශිලාලිපි 44 ක් ද ඉන්දියාවෙන් හමුවූ ශිලාලිපි 3 ක් ද අන්තර්ගත වෙයි. ශිලාලිපි පිළිබඳව සිංහලයෙන් රචනා වූ කෘති වල හිඟතාවය හේතුවෙන් මෙම කෘතිය රචනා කරන බව උන්වහන්සේ තම කෘතිය තුළ සඳහන් කර ඇත.

ශිලාලේඛන තුළ අන්තර්ගත වචන මාලාව නිවැරදි අර්ථ සහිතව අවබෝධ කරගැනීම සඳහා ඉතා වැදගත් කෘතියක් වශයෙන් 2004 වසරේ දී සිරිමල් රණවැල්ල මහතා විසින් සකසන ලද සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය කෘතිය දැක්විය හැක. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් ද පළකර තිබෙයි.

බ්‍රාහ්මී ශිලාලේඛන ඇසුරින් තත්කාලීන සමාජ වටපිටාව හඳුනාගැනීම සඳහා පවතින ඉඩකඩ පෙන්වාදෙමින් 2008 වසරේ දී නිලන්ති බණ්ඩාර මෙනෙවිය විසින් සකසන ලද පුරාණ ශ්‍රී ලංකාවේ සමාජය යන කෘතිය ද වැදගත් ග්‍රන්ථයක් වෙයි.

මෙහි සවිස්තරව සඳහන් කරන ලද විද්වතුන්ගෙන් පරිබාහිරව ටී.ජී.කුලතුංග, කරුණාසේන හෙට්ටිආරච්චි, තෙන්නකෝන් විමලානන්ද, නන්දසේන මුදියන්සේ යනාදී වූ විද්වතුන් රැසක් ද ශ්‍රී ලංකාවේ ශිලාලේඛන අධ්‍යයනය උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත.