ශ්‍රී ලංකාවේ ශිලාලේඛන පිළිබඳ අධ්‍යයන ඉතිහාසය

ශ්‍රී ලංකාවේ සෙල්ලිපි අධ්‍යයන ඉතිහාසය තුළ සුවිශේෂී අවධානයක් යොමුවන කණ්ඩයක් වශයෙන් ශිලාලේඛන තොරතුරු ඇතුළත් කර ප්‍රකාශයට පත් කරන ලද කෘති සඳහන් කළ හැක. ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි සෙල්ලිපි සංග්‍රහය වන එපිග්‍රැපියා සෙලනිකා සඟරාව මේ අතර ප්‍රමුඛ වෙයි. මෙයට අමතරව ශිලාලේඛන අධ්‍යයනයෙහි නියුතු වූ විවිධ විද්වතුන්ගේ දායකත්වයෙන් රචනා වූ ග්‍රන්ථ කිහිපයක් ද වෙයි. මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් සකසන ලද Inscriptions of Ceylon පළමු සහ දෙවන කොටස ශ්‍රී ලංකාවේ මූල බ්‍රාහ්මී ශිලාලිපි අධ්‍යයනයේ දී ඉතා වැදගත් ය. එසේම රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකාවේ ශාඛාව මඟින් නිකුත් කරනු ලබන සඟරාව, University of Ceylon Review සඟරාව, Ceylon Antiquary, Literary Register, Epigraphical Notes යන සඟරාවන් හි  ද ශිලාලේඛන බොහොමයක් පිළිබඳව තොරතුරු පළ වී ඇත. ශ්‍රී ලංකාවෙහි පැරණි සමාජ, ආර්ථික, දේශපාලනික සහ ආගමික කරුණු රැසක් මෙම ශිලාලේඛන අධ්‍යයනය තුළින් හඳුනාගෙන ඇති අතර සාහිත්‍යමය වාර්තාවන්හි අන්තර්ගත කරුණු තහවුරු කිරීම සඳහා ද ශිලාලේඛන අතිශය වැදගත් වෙයි.

සෙල්ලිපි අධ්‍යයනයේ දී ඒවා පිටපත් කරගැනීම ඉතා වැදගත් වෙයි. මුල් කාලීනව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සෙල්ලිපි වල නේත්‍ර පිටපත් පමණක් ලබාගන්නා ලද නමුත් පසුකාලීනව පුහුණු නිලධාරීන් යටතේ සෙල්ලිපි පිටපත් කිරීම සිදුකරන ලදී. මෙලෙස ශ්‍රී ලංකාව තුළ ප්‍රථමවරට ශිලාලේඛන පිටපත් ගැනීම සිදුකරන ලද්දේ ඒ.පී.සිරිවර්ධන මහතා විසිනි. ඔහු මෙම කර්තව්‍ය සඳහා 1894 වර්ෂයේ දී ඉන්දියාවේ මදුරාසියෙහි ශිලාලේඛන විශේෂඥයෙකුගෙන් පුහුණුව ලබාගෙන ඇත.

මෙම අවස්ථාව හැරුණු විට මෑත ඉතිහාසය තුළ සෙල්ලිපි කියවීම සඳහා ගන්නා ලද පළමු උත්සාහය වශයෙන් ඒ.සී.බ්‍රොඩි විසින් ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති වැදගත් සෙල්ලිපි ද්විත්වයක් වන තෝනිගල සහ පරමාකන්ද සෙල්ලිපි පිළිබඳව 1855 වසරේ දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට සපයන ලද ලිපිය වැදගත් වෙයි. මොහුට අමතරව ටී.ඩබ්.රීස් ඩේවිඩ්ස් මහතා ද දඹුල්ල විහාරයේ ඇති ලෙන් ලිපිය පිළිබඳව 1872 වසරේ දී Indian Antiquity සඟරාව වෙත ලිපියක් සපයන ලදී.

1868 වර්ෂයේ දී හර්කියුලිස් රොබින්සන් ආණ්ඩුකාරවරයා විසින් පුරාවිද්‍යා කොමිසමක් පත්කර ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාව පුරා විසිරී පැවති සෙල්ලිපි හඳුනාගෙන අධ්‍යයනය කිරීම කෙරෙහි උනන්දුවක් දක්වා ඇත. හර්කියුලිස් ආණ්ඩුකාරවරයාගෙන් පසුව මෙරට ආණ්ඩුකාර ධූරයට පත් ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකරු මෙරට පුරාවිද්‍යාව උදෙසා විශාල මෙහෙයක් සිදුකරන ලද පුද්ගලයෙක් වෙයි. 1872 වසරේ දී ජාතික කෞතුකාගාරයක අවශ්‍යතාවය ඔහු විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත පෙන්වා දෙන අතර එහිදී සෙල්ලිපි පිටපත් ගෙන ආරක්ෂාකාරීව ඒවා කෞතුකාගාරයක තැන්පත් කර තැබීමේ වැදගත්කම ද මතුකර දක්වා ඇත. ලංකාවේ සෙල්ලිපි අධ්‍යයනය පිළිබඳව ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා විසින් දක්වන ලද උනන්දුවෙහි ප්‍රතිඵල වශයෙන් 1874 වර්ෂයේ දී සෙල්ලිපි පර්යේෂණ කටයුතු සිදුකරගෙන යාම සඳහා පී.ගෝල්ඩ්ස්මිත් නම් ජර්මන් ජාතික උගත් පුද්ගලයෙකු පත් කර ඇත. 1875 වසරේ දී කටයුතු ආරම්භ කරමින් මොහු විසින් සිය මූලික අවධානය අනුරාධපුර දිස්ත්‍රික්කය වෙත ලබාදෙන ලදී.

වාරිමාර්ග ඉන්ජිනේරුවරයෙකු වන හෙන්රි පාකර් මහතා ක්‍රි.පූ අවධියට අයත් වන ලෙන් ලිපි ගණනාවක් කියවා පෙළ සහ අර්ථ සහිතව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාවේ සෙල්ලිපි අධ්‍යයනය පිළිබඳව විමසීමේ දී වැදගත් කරුණක් ලෙස හඳුනාගත හැක.

එච්.සී.පී.බෙල් මහතා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වශයෙන් පත් වූ පසු ඔහු විසින් කෑගල්ල පළාතෙහි ශිලාලේඛන රැසක් අධ්‍යයනය කර කෑගලු වාර්තාව නම් ග්‍රන්ථයෙහි අන්තර්ගත කරන ලදී. එසේම ඉන්දියාවේ ප්‍රකාශයට පත් කෙරෙන එපිග්‍රැපියා ඉන්ඩිකා සඟරාව හා සමාන වන ලෙස එපිග්‍රැපියා සෙලනිකා සඟරාව ආරම්භ කිරීම ද සෙල්ලිපි අධ්‍යයන ඉතිහාසය තුළ වැදගත් කඩඉමක් සනිටුහන් කරයි.

බෙල් මහතාගෙන් පසුව ශ්‍රී ලංකාවේ සෙල්ලිපි අධ්‍යයන ඉතිහාසය තුළ හඳුනාගත හැකි දැවැන්තයෙකු වශයෙන් මෙරට ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා වන සෙනරත් පරණවිතාන මහතා හඳුනාගත හැක. ඔහුගෙන් පසුව චාල්ස් ගොඩකුඹුර, සද්ධාමංගල කරුණාරත්න වැනි පසු කාලීන පුරාවිද්‍යා කොමසාරිස්වරුන් ද මෙරට ශිලාලේඛන අධ්‍යයන ඉතිහාසය තුළ වැදගත් වෙයි.