වහරල ලිපි

ශ්‍රී ලංකාව තුළ හඳුනාගැනෙන ශිලා ලේඛන ඒවා පිහිටි ස්ථානය අනුව වර්ග වෙයි. ඒ අතුරින් ගිරි ලිපි ගණයට අයත් වන ලිපි විශේෂයක් වශයෙන් වහරල ලිපි සඳහන් කළ හැකි ය. මෙම ලිපි තුළ බහුලව සඳහන් වන වහරල යන පදය හේතුවෙන් මෙම ලිපි වර්ගය වහරල ලිපි ලෙස හඳුන්වාදෙනු ලබයි. වහරල ලිපි බහුලව  රචනා වී ඇති කාලසීමාව වශයෙන් ක්‍රි.ව. 6 – 7 අතර කාලසීමාව දැක්විය හැක. නමුත් ක්‍රි.ව. 5 වන සියවස ආශ්‍රිතව ද සුළු වශයෙන් වහරල ලිපි දැකිය හැක. විහාරාරාම ආශ්‍රිතව පිහිටි ගල්තලා හෝ සඳකඩපහන් ආශ්‍රය කරගනිමින් වහරල ලිපි රචනා කර තිබෙයි.

වහරල ලිපි ලෙස හඳුන්වනු ලබන මෙම සෙල්ලිපි විශේෂය පිළිබඳව අධ්‍යයනය කළ විද්වතුන් වහරල යන පදය වෙත නොයෙකුත් අර්ථ දැක්වීම් ඉදිරිපත් කර ඇත.මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරන පරිදි වහරල යන්නෙන් වහල් යන අදහස ගම්‍ය වෙයි. මාලිනී ඩයස් මහත්මිය එය අනිවාර්ය සේවයෙන් නිදහස් කිරීම ලෙස ද, සද්ධාමංගල කරුණාරත්නයන් එය විහාර වලට අදාළ ගොඩනැගිලි සැදීම ලෙස ද, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි එය අනිවාර්ය සේවයෙන් නිදහස් කිරීම ලෙස ද අදහස් දක්වා ඇත. සිංහල වදන් අකරාදියෙ හි වහරල යන්න වෙහෙර ලෙස අර්ථ දක්වා ඇති අතර ශ්‍රී සුමංගල ශබ්දකෝෂය තුළ මෙය උපකාරය, වහල් බව යනාදී වූ ලෙස විස්තර කර ඇත.

වහරල ලිපි පිළිබඳව පළමුවරට අදහස් දක්වන ලද්දේ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසිනි. ඔහු සඳහන් කරන පරිදි වහරල යනු වහල් බැවින් මිදවීම යන අර්ථය වෙයි. ඒ අනුව සැලකීමේ දී යම් ස්ථානයක හෝ යම් අයෙකු වෙත සේවය කරන ලද පුද්ගලයෙකු එයින් නිදහස් කරවීම වහරල යන්නෙන් විස්තර වෙයි. වහරල ලිපි බහුලව හඳුනාගෙන ඇත්තේ විහාරාරාම ආශ්‍රිතව වෙයි. එම ලිපි තුළ “චදවි” යන පදය ද සුලබ වෙයි.

  • වහරල ලිපි අතර හඳුනාගත හැකි පොදු කරුණු කිහිපයක් පහත පරිදි වෙයි.
  • යම්කිසි මුදලක් පිළිබඳව සඳහන් කිරීමෙන් අනතුරුව වහරල චදවි / චිදවි යන පදය සඳහන් කිරීම. මෙම ලක්ෂණය කුරුණෑගල රිදී විහාරය අංක 2 ලිපියෙහි දැකගත හැක. (S.C.A.R 561B))
  • බොහෝවිට පුද්ගල නාමයක් හෝ අඹු දරුවන් පිළිබඳව දක්වා ඇත.
  • කහවණු සියයක් ගෙවන ලද බව දක්වා තිබීම.
  • “පල සව සටනට” යන පාඨය සියළුදෙනාට මේ පින් අත්වේවා යන අර්ථය සහිතව දක්වා ඇත.
  • ක්‍රි.ව. 4 – 8 අතර කාලයට අයත්ව පමණක් මෙම ලිපි හමුව ඇත.

වහරල ලිපි විමසීමේ දී නිශ්චිත වශයෙන් මෙම ලිපි තුළ වහල් සේවය පිළිබඳව අදහස් වන්නේ ද යන්න තරමක ගැටළුවක් වෙයි. බෞද්ධ දර්ශනය අනුගමනය කරන විහාරාරාම ආශ්‍රිතව වහලුන් ලෙස මිනිසුන් යොදා ගත්තේ ද යන්න මෙම ගැටලුවට හේතු වෙයි.

මාලනී ඩයස් මහත්මිය සඳහන් කරන පරිදි යම් පුද්ගලයෙකු අනිවාර්ය සේවා රාජකාරියෙන් නිදහස් කිරීම හෝ නිදහස් කරගැනීම පිළිබඳව මෙම ලිපි තුළ කරුණු සඳහන් වෙයි. මෙම මතය පිළිබඳව එතුමිය විසින් රචනා කරන ලද Epigraphical Notes කෘතියෙහි ද තොරතුරු ඇතුලත් වෙයි.

මුල් කාලීන වහරල ලිපි බොහොමයක බලාපොරොත්තුව වී ඇත්තේ තමන් විසින් සංඝයාට පූජා කරන ලද දෙයක් ලෝවැසියාගේ දැනගැනීම පිණිස සටහන් කර තැබීමයි. භාෂාමය නිවැරදිතාවය පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකරන ලද බව මෙම ලිපි විමසීමේ දී පෙනීයන කරුණකි. මෙම ලිපි තුළ,

  • “චිදවි” යන පදය ආඛ්‍යාතයක් වශයෙන් භාවිත කර ඇත.
  • “වෙයවය” යන්න උත්තම පුරුෂයේ යෙදෙන “වෙමි” යන්නට සමාන යෙදීමක් වශයෙන් යෙදී ඇත.
  • මෙම ලිපි තුළ බොහෝවිට “සව සටනට” යන පදය ප්‍රාර්ථනාවක් වශයෙන් යොදා ඇත.
  • බොහෝ වහරල ලිපි වල පද බෙදීම හඳුනාගත හැක.

සංස්කෘත භාෂාවෙහි “වෘෂල” යන පදයෙන් වහරල යන පදය බිඳී ආ බව පරණවිතානයන් සඳහන් කර තිබෙයි.

වෘෂල > වරෂල > වරසල > වහරල

වහරල ලිපි තුළ වහරල යන පදය විවිධ අයුරින් දැකිය හැක. එනම්, විහරල, වෙහෙරිල, විහරිල, වහරලය යනාදී වශයෙනි. එසේම චිදවි යන පදය චදවි, චදවල, චදෙවල වශයෙන් හඳුනාගත හැක.

විහාර ආශ්‍රිත ගල් තලාවන් මුල් කරගනිමින් බහුලව රචනා වී ඇති නිසාවෙන් ඉඩ මදිවීම යනාදී ගැටළු දුලබ වන නමුත් ලිපි බොහොමයක ලිපිය අවසන් නොකිරීම යන ගැටලුව දැකිය හැක. මෙම ලිපි තුළ ඓතිහාසික වශයෙන් වැදගත් වන කරුණු ඇතුලත් වීම ඉතා සීමිත වෙයි.

වහරල ලිපි තුළින් තත්කාලීන පුද්ගල නාම, ස්ථාන නාම සහ තනතුරු නාම ආදී සමාජයීය කරුණු ද හඳුනාගත හැක. වෙස්සගිරිය අංක 4 දරණ ලිපිය විමසීමේ දී  සහසවරල, දලමෙය, සකනකන, වෙසමිනිය යනාදී වූ පුද්ගල නාමයන් හඳුනාගත හැකි වෙයි. එයට අමතරව ලිපිය සකසන ලද පුද්ගලයාගේ දරුවන්, බිරිඳ ඇතුළු පිරිස පිළිබඳව ද ලිපිය තුළ කරුණු අන්තර්ගත වෙයි.

එසේම ලතකතල, පාලුහන්ගමුව වැනි ස්ථාන නාමයන් ද වහරල ලිපි තුළ හඳුනාගත හැකිවන අතර ප්‍රධාන වශයෙන් මේවායෙහි ඇතුලත් වන ස්ථාන නාම පුරාණ විහාරාරාම හා සම්බන්ධ වූ ඒවා වෙයි. නිදසුන් ලෙස වෙස්සගිරිය අංක 01 ලිපියෙහි, “බොය උපුල්වන් කස්සපගිරි විහාරය” යනුවෙන් විහාර නාමය සඳහන් කර තිබීම දැක්විය හැක.

වහරල ලිපි තුළ තනතුරු නාමයන් අන්තර්ගත වන්නේ ඉතා ම කලාතුරකින් වන අතර එලෙස සඳහන්ව ඇති ප්‍රධාන තනතුරු නාම ලෙස ඔලුවඩු, උලුවදු යන තනතුරු නාමයන් සඳහන් කළ හැක. මෙම ලිපි බොහෝවිට සාමාන්‍ය ජනතාව විසින් ලියන ලද ඒවා වීම මෙලෙස තනතුරු නාම සඳහන් නොවීම සඳහා හේතු වන්නට ඇත. සෙනෙවිවරුන් සහ අමාත්‍යවරුන් විසින් සකසන ලද ලිපි සුළු ප්‍රමාණයක පමණක් තනතුරු නාම දක්වා ඇත.

වහරල යන පදයෙන් වහල් බව හැඟවෙන බව පොදුවේ පිළිගන්නා ලද බහුතර මතය වෙයි. මෙහිදී සාහිත්‍ය ගත සාධක තුළ ඒ පිළිබඳව සඳහන්ව ඇති අවස්ථා විමසීම වැදගත් වෙයි. ශ්‍රී ලංකාව තුළ තම කටයුතු සඳහා මිනිස් ශ්‍රමය සපයා ගැනීම සඳහා පවතින ප්‍රධාන ගැටලුව අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය වන බව මෙහි යටත් විජිත පිහිටුවාගත් බ්‍රිතාන්‍ය ජාතිකයින් සඳහන් කර තිබෙයි. ඒ අනුව සැලකීමේ දී රජු වෙනුවෙන් සේවය සපයන ලද ක්‍රියාවලියක් මහනුවර යුගය වනවිට ශ්‍රී ලංකාව තුළ පැවත ඇත.

සමන්තපාසාදිකාව තුළ සඳහන් පරිදි මෙරට සිටි දාසයින් සිව්වැදෑරුම් වෙයි.

  1. අන්තොජතෝ : දාසයන්ට දරු වූ ගෙදරදොර දාසයින්
  2. දණක්කීත : මිලදී ගත දාසයින්
  3. කමෙරාණීත : යුද්ධයෙන් අල්ලාගන්නා ලද දාසයින්
  4. සාමං දාසව්‍යන් උපගතා : ජීවිකාව හෝ රැකවරණය පතා කැමැත්තෙන් දාසයන් වීම

මෙම කරුණු දැක්වෙන විස්තරයෙහි අවසානයෙහි සාමං දාසව්‍යන් උපගතා යන ගණයට අයත් දාසයින් හට නිදහස්ව යාමට අවකාශ පවතින බව සඳහන්ව ඇත. තමන්ට අවශ්‍ය අවස්ථාවක දී යම් ගෙවීමක් සිදුකර වහල් බවින් මිදීමට පැවති මෙම අවස්ථාව මෙරට වහල් ක්‍රමය තුළ සුවිශේෂී වූවකි. බොහෝ වහරල ලිපි තුළ කහවණු සියයක ගෙවීමක් පිළිබඳව වන සඳහන මෙය තවදුරටත් සනාථ කරනු ලබයි.