බ්‍රාහ්මි අක්ෂර මාලාවේ ආරම්භය හා විකාශය පිළිබඳ අදහස්

බ්‍රාහ්මී අක්ෂර මාලාවේ ආරම්භය පිළිබඳව වන මතවාද ක්‍රි.පූ 6 වන සියවස තෙක් දිවෙන බව හඳුනාගත හැක. එකොළොස්වන සියවසෙහි ප්‍රථම භාගය තුළ ජිවත් වූ ක්ෂේමේන්ද්‍රයන් විසින් අවදානකල්පලතාවෙහි බ්‍රාහ්මී අක්ෂර ආරම්භය පිළිබඳව යම් අදහසක් දක්වා ඇත. එහි ඔහු විසින් සඳහන් කරන පරිදි සිදුහත් කුමරු තම ඥාතින් ඉදිරිපිට ශිල්ප දක්වන ලද අවස්ථාවේ දී සාක්ෂරතාවය සහ ලේඛන දක්ෂතාවය පෙන්වීම සඳහා බ්‍රාහ්මී නමින් හඳුන්වනු ලබන අක්ෂර විශේෂයක් භාවිත කර ඇත. මෙම අක්ෂර දිගු කාලයක් පුරා අභාවයට ගොස් තිබූ අක්ෂර විශේෂයක් වන බවත් පුරාණයේ දී බ්‍රහ්මයා විසින් හඳුන්වාදෙන ලද බැවින් බ්‍රාහ්මී ලෙස හැඳින්වෙන බව ද තවදුරටත් මෙහි සඳහන්ව ඇත.

වර්තමානයේ දී ඉන්දියාවේ පිප්‍රාවා යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රදේශය අතීතයේ දී දඹදිව මධ්‍ය කපිලවස්තු පුරයට නුදුරින් පිහිටි ශාක්‍ය ජනපදය ආශ්‍රිත ප්‍රදේශය විය. පිප්‍රාවා නගරයේ පුරාණ දාගැබක් තුළ තිබී හමුවූ කරඬු ලිපිය බ්‍රාහ්මී අක්ෂර සම්බන්ධව දැනට ඉන්දියාව තුළ හමුව ඇති මුල් ම බ්‍රාහ්මීය ලිපිය ලෙස දක්විය හැක.

“අයං සලිල නිධනෙ බුදස භවතො සකියානං භුකිති නත්තං සහගිනි කනං සදක දලනං”

මෙම වාක්‍ය කොටසෙහි අර්ථය වන්නේ, “ශාක්‍ය වංශයට භාග්‍යවත් වූ බුදුන්ගේ ශාරීරික ධාතු නිධානය වූ මෙය සුකීර්ති සහෝදරියන්ගේ සහ සහෝදරයන්ගේ ද ඔවුන්ගේ දරුවන්ගේ සහ භාර්යාවන්ගේ ද ” යනු වෙයි.

බුදුරජාණන්වහන්සේ පරිනිර්වාණයට පත් ආසන්න කාලයේ දී මෙම කරඬු ලිපිය සකස් කර ඇති අතර අක්ෂර අනුව සැලකීමේ දී අශෝක අක්ෂරයන්ට පූර්වයෙන් රචනා වූ ඒවා වන බව පැහැදිලි වී ඇත. නමුත් භාවිත අක්ෂර බ්‍රාහ්මී වර්ගයට අයත් වෙයි. ක්ෂේමේන්ද්‍ර විසින් සඳහන් කරන ලද කාරණය තහවුරු කරනු ලබන එක් සාධකයක් වශයෙන් මෙම කරඬු ලිපිය දැක්විය හැක.

බ්‍රාහ්මී අක්ෂර ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිෂ්ණ ශාස්ත්‍රී, හන්ටර් මහාදේව සහ රා ඕ යන විද්වතුන් සඳහන් කරනුයේ එම අක්ෂර ද්‍රවිඩ මූලයකින් ආරම්භ වූ බව ය. මෙම මතවාදය සඳහා හේතු වී ඇත්තේ දකුණු ඉන්දියාවේ තිරුනෙල්ලි, මදුරාසි රාමනාෂ්පුරම්, තිරු එච්චරප්පල්ලි යන දිස්ත්‍රික්ක ඇසුරින් බ්‍රාහ්මී අක්ෂර ඇතුළත් ලිපි 60 ක් පමණ සොයාගැනීම වෙයි. දකුණු ඉන්දියානු කලාපය තුළ අක්ෂර විද්‍යාවේ ආදිතම අවස්ථාව මෙතුළින් නිරූපණය වන බව ක්‍රිෂ්ණ ශාස්ත්‍රී විසින් පෙන්වාදෙනු ලබයි.

බ්‍රාහ්මී අක්ෂර ආරම්භය පිළිබඳව ඉදිරිපත්ව ඇති තවත් මතවාදයක් වශයෙන් ඉන්දු නිම්න අභාෂය මත වර්ධනය වූ අක්ෂර ලෙස හැඳින්වීම දැක්විය හැක. දකුණු ඉන්දියාවේ අරිකමේඩු නම් පුරාවිද්‍යා ස්ථානයෙන් අක්ෂර සහිත මැටි බඳුන් කොටසක් හමුව ඇති අතර ඒවායෙහි දැකිය හැකි සංකේත ඉන්දු නිම්නයේ සංකේත හා සමාන වෙයි. ඒ අනුව බ්‍රාහ්මී අක්ෂර වෙත ඉන්දු නිම්න අභාෂය ලැබුණු බව විශ්වාස කෙරෙන අතර ආර්.නාගස්වාමි ගේ අදහස වන්නේ මෙම අක්ෂර දෙමළ බ්‍රාහ්මී අක්ෂර වන බවයි.

ඉන්දියානු සාහිත්‍ය තුළ බ්‍රාහ්මී යන පදය හමුවන පළමුවන අවස්ථාව වශයෙන් ක්‍රි.ව.පළමුවන සියවසට අයත් වන ලලිත විස්තරය නම් කෘතිය සඳහන් කළ හැක. එම ග්‍රන්ථය තුළ භාරතයේ භාවිත වන ලේඛන ක්‍රම අතර බ්‍රාහ්මී අක්ෂර කලාව පිළිබඳව ද තොරතුරු ඇතුලත් කර ඇත.

මෙම සියලු මතවාද අතර වඩාත් ප්‍රචලිත් වන්නේ බ්‍රාහ්මී අක්ෂර අශෝක අක්ෂර වලින් සම්භවය වූ බව වෙයි. මහාචාර්ය බෂාම් සඳහන් කරන පරිදි අශෝක අධිරාජ්‍යයා විසින් පිහිටුවන ලද ලිපි තුළ අක්ෂර ක්‍රමවේද ද්විත්වයක් හඳුනාගත හැකි වෙයි. එනම් අශෝක අක්ෂර සහ ඛරෝෂ්ටි අක්ෂර වශයෙනි. ඒ අතරින් වඩාත් වැදගත් වන්නේ බ්‍රාහ්මී අක්ෂර වන බවට ද එතුමා වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙය විමසා බැලීමේ දී බ්‍රාහ්මී අක්ෂර මාලාවේ වර්ධනය උදෙසා අශෝක අක්ෂර සැලකිය යුතු බලපෑමක් කර ඇති බව හඳුනාගත හැක. ඉන්දියානු අභිලේඛන විශේෂඥයෙකු වන ඩී.සී.සිර්කාර් මහතා සඳහන් කරන පරිදි දකුණු ඉන්දියානු සහ ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී අක්ෂර වලට වඩා වේගයෙන් ඉන්දියානු අශෝක අක්ෂර වෙනස් වීමට ලක්වූ බව ය.

ශ්‍රී ලංකාව තුළ බ්‍රාහ්මී අක්‍ෂරයන්ගේ වර්ධනය හා විකාශනය සැලකීමේ දී මහින්දාගමනය තුළින් ශ්‍රී ලංකාවේ අක්ෂර සම්ප්‍රදාය ආරම්භ වූ බව වඩාත් ප්‍රචලිත මතය වෙයි. එනමුත් එයට පෙර සිට ම ශ්‍රී ලාංකික ජනතාව බ්‍රාහ්මී අක්ෂර පිළිබඳව අවබෝධයෙන් යුතු වූ බවට අද වන විට සාධක රැසක් පුරාවිද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ හඳුනාගෙන් ඇත.

  • ක්‍රි.පූ.500 – 600 අතර කාලයට කාලනිර්ණය කෙරෙන අනුරාධපුර ඇතුළු නුවර සල්ගහවත්ත ආශ්‍රිත කැණීමෙන් බිය අනුරද ලෙස සඳහන් වන මැටි බඳුන් කැබැල්ලක් හමුවීම.
  • මාතලේ වේරගොඩ විහාරයෙන් හඳුනාගන්නා ලද ටෙරාකොටා මුද්‍රා කිහිපයක් මත බ්‍රාහ්මී අක්ෂර සටහන්ව තිබූ බව සුදර්ශන් සෙනෙවිරත්න මහතා දක්වා ඇත.
  • තිස්සමහාරාමය අසල අකුරුගොඩ නම් ස්ථානයේ ජර්මානු පුරාවිද්‍යාඥයින් සමඟ එක්ව සිදුකරන ලද KAVA ව්‍යාපෘතියේ දී කැණීම් කරන ලද ස්ථානයකින් පුළුස්සන ලද මැටි බඳුන් මත බ්‍රාහ්මී අක්ෂර හමුව තිබෙයි.
  • 1970 වසරේ දී පෙන්සිල්වේනියා කෞතුකාගාර විශ්වවිද්‍යාලයේ ආචාර්ය විමලා බෙග්ලි සහ ආචාර්ය බෙනට් බ්‍රැන්සන් ප්‍රමුඛ කණ්ඩායම විසින් යාපනය කඳුරුගොඩ විහාරය ආශ්‍රිතව සිදු කරන ලද කැණීමකින් බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කැබැල්ලක් හමුව ඇත. “දතහ පත” යනුවෙන් මෙහි සඳහන් වන පාඨයෙහි අර්ථය වන්නේ “දත්තගේ පාත්‍රය” යන්න වෙයි.
  • ක්‍රි.පූ 720 ට අයත් වන බවට කාලනිර්ණය කරන ලද ඉබ්බන්කටුව පූර්ව ඓතිහාසික අවධියට අයත් සුසාන පරිශ්‍රයෙහි සුසාන පියන්ගල් මත බ්‍රාහ්මී අක්ෂර කිහිපයක් සටහන් කර තිබෙනු හඳුනාගෙන ඇත.

 

මෙලෙස මැටි බඳුන් කැබලි මත හඳුනාගත හැකි වන අක්ෂර අනුරාධපුර ලෙන් කටාරම් මත කොටන ලද බ්‍රාහ්මී අක්ෂර වලට වඩා පැරණි අක්ෂර බව ද හඳුනාගෙන ඇත. මෙම මැටි බඳුන් මත වන අක්ෂරය ත්‍රිකෝණයකින් අවසන් වන රේඛාවකින් සැදී ඇත. අශෝක අක්ෂර අතර දැකිය හැකි අක්ෂරය යට කෙළවරින් අර්ධ වෘත්තාකාර වෙයි. අක්ෂරය තුළ ද මෙබඳු වූ වෙනස්වීම් දැකිය හැක.

කෙසේ නමුත් මෙරට දීර්ඝ වශයෙන් ශිලාලිපි ආදී ලේඛන නිර්මාණය පැහැදිලිව හඳුනාගත හැකි වන්නේ ක්‍රි.පූ තෙවන සියවසින් පසුව වෙයි. නමුත් ඒ වන විට මෙරට ජනතාව අක්ෂර පිළිබඳව දැනුවත්ව සිටි බව පැහැදිලි කරුණකි. අශෝක අක්ෂර හා සැලකීමේ දී වෙනස්කම් රැසක් මෙරට බ්‍රාහ්මී අක්ෂර මාලාව තුළ හඳුනාගත හැක. අශෝක රජුගේ ලිපි තුළ හෝ ඔහුගේ අනුප්‍රප්තිකයින්ගේ ලිපි තුළ හඳුනාගත නොහැකි වන ඉ ස්වර අක්ෂරයත් ම ව්‍යංජන අක්ෂරයත් උත්තිය රජුගේ ලිපි අතර දක්නට ලැබීම මෙය තහවුරු කෙරෙන එක අවස්ථාවකි. එසේම ඉන්දියානු ලේඛන තුළ බොහෝ අවස්ථාවන්හි දී රජ යන පදය සඳහා අල්පප්‍රාණ අක්ෂරය භාවිත කර ඇතත් ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිත කර ඇත්තේ මහප්‍රාණ අක්ෂරය වෙයි.

ශ්‍රී ලංකාවේ පැරණි බ්‍රාහ්මී අක්ෂර මාලාව මෙරට ඇති වූ විවිධ සමාජ සංස්කෘතික කරුණු මත විකාශනය විය. වළගම්බා රාජ්‍ය කාලය තුළ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් වෝහාරිකතිස්ස රාජ්‍ය කාලය තුළ මහායාන බුදුසමයේ ආගමනයත් මෙරට අක්ෂර කලාව තුළ යම් වෙනසක් සිදුවීමට තුඩුදුන් කාරණා විය. මූල සිංහල අක්ෂර වශයෙන් එලෙස විකාශය වූ අක්ෂර හඳුන්වනු ලබයි.

අනුරාධපුර අවධිය මෙරට සාහිත්‍යකරණයේ මුල් ම අවධිය වූ අතර එහි ක්‍රමික වර්ධනය හේතුවෙන් පොළොන්නරු යුගයේ අවසාන භාගය වනවිට ඩ, ර, ණ වැනි අක්ෂර කිහිපයක් හැරුණු විට සෙසු අක්ෂර වර්තමාන අක්ෂර හා බොහෝ සමාන විය. පොළොන්නරු අවධිය වන විට එ, ක,ග,ජ,ඩ,ම සහ ර යන අක්ෂර මුල් ස්වරුපයෙන් එතරම් වෙනස් නොවුන ද ඉ,ණ,ම සහ ර අක්ෂර විශාල වශයෙන් වෙනස් වී ඇත.

අක්ෂරයකට ඉහළින් කෙටි සිරස් රේඛාවකින් සම්බන්ධ කිරිමට හැකි කෙටි තිරස් රේඛාවක් සහිත විරාම ලක්ෂණයක් පළමුවන විජයබාහු රජුගේ පනාකඩුව තඹ සන්නසෙහි දක්නට ලැබෙයි.

පශ්චාත් පොළොන්නරු අවධිය අක්ෂර විකාශනයෙහි එතරම් සුවිශේෂී වෙනස්වීමක් හඳුනාගත නොහැකි කාල පරිච්ඡේදයකි. ශ්‍රී ලංකාව වෙත විවිධ රාජ්‍ය පාලන කාලයන් තුළ දී එල්ල වූ විවිධ ආක්‍රමණ අක්ෂර කලාවෙහි විවිධත්වයන් ඇති කිරීම සඳහා ද හේතුවන ලදී. විශේෂයෙන් ම ඉන්දියානු බලපෑම බහුලව ශ්‍රී ලාංකික මුල් අක්ෂර මාලාව තුළ හඳුනාගත හැක. පල්ලව, ඔක්කාක ආදී රාජවංශයන්ගේ බලපෑම මේ අතර කැපී පෙනෙයි. ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතේ තිරියාය පිහිටි වටදාගෙය වෙත එම විහාරයෙහි සිට දිවෙන මාර්ගයෙහි ගල් තලාවක කොටා ඇති සංස්කෘත භාෂාවෙන් ලියන ලද ලිපිය පල්ලව ග්‍රන්ථ අක්‍ෂර භාවිත කරමින් ලියා ඇති අතර හත්වන සියවස වන විට බ්‍රාහ්මී අක්‍ෂර වල විකාශනය සඳහා පල්ලව බලපෑම හඳුනාගැනීම සඳහා මෙය මනා නිදසුනක් වෙයි.

මේ අයුරින් විවිධ වෙනස්කම් රැසකට ලක්වෙමින් බ්‍රාහ්මී අක්ෂර මාලාව නූතන සිංහල අක්ෂර මාලාව තෙක් විකාශනය වූ බව හඳුනාගත හැක.