අනුරාධපුර ඇතුලු නුවරින් අනාවරණය වූ ලංකාවේ පැරණිත ම බ්‍රාහ්මි අක්ෂර

ක්‍රි.පූ තෙවන සියවසේ දී පමණ මෙරට තුළ හඳුනාගැනෙන ලෙන් ලිපි මෙරට ලේඛන කලාවෙහි පැරණිත ම සාධක වශයෙන් මෑතක් වනතුරු ම පිළිගැනුණි. මෙරට බ්‍රාහ්මී අක්ෂර ඉන්දියාවේ අශෝක අක්ෂර සමඟ දක්වන සම්බන්ධතාවය මත ඉන්දියාවෙන් ලද අභාෂය මත මෙරට අක්ෂර කලාව වර්ධනය වූ බව විශ්වාස කෙරුණි. නමුත් ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී අක්‍ෂරයන්ගේ ඉතිහාසය පිරික්සීමේ දී ලෙන් ලිපි ආදිය රචනා වීමට පෙරාතුව ද මෙරට ජනතාව අක්ෂර පිළිබඳව දැනුවත්භාවයකින් යුතු වූ බව අවිවාදාත්මක වෙයි. පූර්ව ඓතිහාසික අවදියට අයත් වන සිස්ට් වර්ගයෙන් නිමවන ලද සුසාන පියන්ගල් මත සහ එම යුගයට අයත් වන ජනාවාස ස්ථානයන්ගෙන් හමුවන මැටි බඳුන් කොටස් මත සටහන් කරන ලද අක්ෂර මේ සඳහා සාධක වෙයි.

  • මාතලේ වේරගොඩ විහාරයෙන් හඳුනාගන්නා ලද ටෙරාකොටා මුද්‍රා කිහිපයක් මත බ්‍රාහ්මී අක්ෂර සටහන්ව තිබූ බව සුදර්ශන් සෙනෙවිරත්න මහතා දක්වා ඇත.
  • තිස්සමහාරාමය අසල අකුරුගොඩ නම් ස්ථානයේ ජර්මානු පුරාවිද්‍යාඥයින් සමඟ එක්ව සිදුකරන ලද KAVA ව්‍යාපෘතියේ දී කැණීම් කරන ලද ස්ථානයකින් පුළුස්සන ලද මැටි බඳුන් මත බ්‍රාහ්මී අක්ෂර හමුව තිබෙයි.
  • 1970 වසරේ දී පෙන්සිල්වේනියා කෞතුකාගාර විශ්වවිද්‍යාලයේ ආචාර්ය විමලා බෙග්ලි සහ ආචාර්ය බෙනට් බ්‍රැන්සන් ප්‍රමුඛ කණ්ඩායම විසින් යාපනය කඳුරුගොඩ විහාරය ආශ්‍රිතව සිදු කරන ලද කැණීමකින් බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කැබැල්ලක් හමුව ඇත. “දතහ පත” යනුවෙන් මෙහි සඳහන් වන පාඨයෙහි අර්ථය වන්නේ “දත්තගේ පාත්‍රය” යන්න වෙයි.

ශ්‍රී ලංකාවේ අක්ෂර කලාව මහින්දාගමනයත් සමඟ මෙරටට හිමිවූ දායාදයක් වශයෙන් බොහෝදෙනා අතර ප්‍රචලිතව ඇත. නමුත් එම අදහස වෙත අභියෝග කළ හැකි සාධක අනුරාධපුර සල්ගහවත්ත ආශ්‍රිත කැණීමෙන් සොයාගෙන ඇත. එය මේ වනවිට ශ්‍රී ලංකාවෙන් අක්ෂර භාවිතය පිළිබඳව වූ පැරණිත ම සාධකය වන අතර ක්‍රි.පූ.500 – 600 අතර කාලයට කාලනිර්ණය කෙරෙන මැටි බඳුන් මත ලියන ලද අක්ෂර සටහන් වෙයි. මෙම පර්යේෂණ ප්‍රතිඵල අනුව සැලකීමේ දී ශ්‍රී ලංකාව තුළ පමණක් නොව එය දකුණු ආසියාව තුළ ම අක්ෂර භාවිතය පිළිබඳව වන පැරණිත ම සාධකය වෙයි. මෙම සොයාගැනීම මුල් කාලීනව විදේශීය පුරාවිද්‍යාඥයින් අතර ආන්දෝලනයට තුඩු දුන් නමුත් විද්‍යාත්මක කාලනිර්ණ ක්‍රම භාවිතය එම කරුණු ප්‍රතික්ෂේප කිරීමට ඉවහල් විය.

1988 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ ප්‍රදානත්වය සහිතව අනුරාධපුර ඇතුළු නුවර (ASW (88)) ආශ්‍රිතව කැණීම් පර්යේෂණයක් ආරම්භ කරන ලදී. මෙහිදී දළ වශයෙන් අඩි 30 ක් පමණ ගැඹුරින් වූ අනුරාධපුර ජනාවාසකරණය හා සම්බන්ධ පාංශු ස්ථර හඳුනාගැනීම කෙරෙහි මූලික අවධානය යොමුව ඇත. කාබන් 14 කාලනිර්ණ ක්‍රමවේදයන් ද භාවිත කරමින් සිදුකරන ලද මෙම පර්යේෂණයේ දී අනුරාධපුර මුල් ජනාවාස ක්‍රි,පූ 900 පමණ කාලයට අයත් වන බව හඳුනාගන්නා ලදී. ඒ වනවිට අක්කර 35 – 65 අතර භූමි ප්‍රමාණයක් අනුරාධපුර නගරය වෙත අයත්ව තිබී ඇත. විවිධ කටයුතු සඳහා භාවිත කරන ලද යකඩ මෙවලම්, වී ගොවිතැන හා සම්බන්ධ කරුණු සේ ම දියුණු මැටි කර්මාන්ත සාධක ද මෙම ජනාවාස අවධියට අයත්ව හඳුනාගන්නා ලදී.

අක්කර 125 ක භූමි ප්‍රමාණයක් ක්‍රි.පූ 700 වන විටත් අක්කර 180 ක භූමි ප්‍රමාණයක් ක්‍රි.පූ 500 වන විටත් අනුරාධපුරය සඳහා අයත් විය. ක්‍රි.පූ තෙවන සියවස වනවිට එනම් දෙවනපෑතිස් රජුගේ රාජ්‍ය කාලය වනවිට අනුරාධපුර නගරය අක්කර 250ක් වූ විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබුණි.

ආචාර්ය දැරණියගල විසින් මෙහෙයවන ලද මෙම පර්යේෂණයේ සුවිශේෂී ම සොයාගැනීම ලෙස ඉහත සඳහන් කරන ලද බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කැබලි දැක්විය හැක. 1988 වර්ෂයේ දී අනුරාධපුර මහාපාළි දානශාලාව ආසන්නයේ  සිදුකරන ලද කැණීමෙහි සන්දර්භ අංක 75 ඇසුරින් බ‍්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කොටස්  5 ක් සහ අනුරාධපුර ඇතුළුනුවර සල්ගහවත්ත ලෙස හඳුන්වනු ලබන ස්ථානයේ සිදුකරන ලද කැණීමේ 88 වැනි සන්දර්භයට අයත්ව බ‍්‍රාහ්මී ලේඛන අන්තර්ගත මැටි බඳුන් කැබලි දෙකක් වශයෙන් බ‍්‍රාහ්මි අක්‍ෂර සටහන් සහිත  මැටි බඳුන් කැබලි 7ක් හමුව ඇත. මේවායෙහි සඳහන් වන අක්ෂර මුල් බ්‍රාහ්මී අක්ෂර ලෙස හඳුනාගෙන ඇත.

දකුණු ආසියාවෙහි ඓතිහාසික කතාන්දරයෙහි පෙරලියක් සිදු කිරීමට සමත් වූ මෙම සොයාගැනීම එකල බොහෝ විදේශීය විද්වතුන් අතර මතවාදයට තුඩුදුන් කරුණක් විය. මෙම හේතුව ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරාධනය මත බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය, දකුණු ආසියානු කලාපයේ අදාළ යුගය පිළිබඳ විශේෂඥයෙකු වශයෙන් සැලකෙන එෆ්.ආර්. ඕල්චින් මහතා හා රොබින් කොනින්හම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් පිරිසකගේ සහභාගීත්වයෙන් 1989 – 1992 කාලය තුළ මෙම පර්යේෂණය නැවතත් විමසා බලන ලදී. ආචාර්ය දැරණියගලයන් විසින් සිදුකරන ලද පර්යේෂණයේ දිගුවක් ලෙස ක්‍රියාත්මක වූ මෙම කැණීමෙන් ද මැටි බඳුන් මත සටහන් වූ අක්ෂර ක්‍රි.පූ 450 ආශ්‍රිත ඒවා බව තහවුරු කරන ලදී.

අනුරාධපුර සල්ගහවත්ත (ASW 88) කැනීමේ 88 වැනි සන්දර්භය මඟින් බ‍්‍රාහ්මී පාඨ දැක්වෙන මැටි බඳුන් කොටස් දෙකක් ලැබී ඇති අතර එහි එක් නිදර්ශකයක ‘මාද යන්න හා අනෙකේ ‘බියඅනුර(ධි)’ යන්න සටහන් වී ඇති බව හඳුනාගත හැකි වේ. දෙ වැන්නේ දැක්වෙන මහාප‍්‍රාණ ‘ධ අක්‍ෂරය අනුව මෙම අක්‍ෂර නියත වශයෙන් ම ප‍්‍රාකෘත විය යුතු බව අදහස් කර ඇත. මෙම සාධක කාබන් කාලනීර්ණය අනුව ක‍්‍රිස්තු පූර්ව 6 සියවස වශයෙන් දින නියම ලබාගෙන ඇත.