අත්තාණි පරිහාර කණු

ශ්‍රී ලංකාවේ අභිලේඛන ගණයට අයත් වන ශිලා ලේඛන, ඒවා පිහිටුවන ලද ස්ථාන අනුව ආකාර හතරකට වර්ග වෙයි. ඒ ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි සහ පුවරු ලිපි යනාදී වශයෙනි. මේ අතුරින් ටැම් ලිපි වල ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකි අතර “අත්තාණි පරිහාර කණු” ඒ අතුරින් ප්‍රමුඛ වෙයි.

ශ්‍රී ලංකාව තුළ පාලනය ගෙනයන ලද යම්කිසි රජෙකු හෝ රාජ සභාවට අයත් රජයේ උසස් නිලධාරියෙකු විසින් යම් පුද්ගලයෙකුට හෝ ආයතනයක් වෙත ප්‍රදානය කරනු ලබන සුවිශේෂී වරප්‍රසාද, අයිතිවාසිකම් ආදිය සටහන් කරමින් පිහිටුවනු ලබන ලේඛනය අත්තාණි පරිහාර කණු වශයෙන් හඳුන්වන්නට යෙදෙයි. අත්තාණි පරිහාර දීමනාවක දී බොහෝදුරට සියලු රාජ්‍ය පරිපාලන නීති වලින් එම ප්‍රදානයන් නිදහස් කෙරෙයි.

අනුරාධපුර යුගයේ අවසාන භාගය ලෙස සැලකෙන ක්‍රි.ව. 9 – 11 සියවස් අතර කාලසීමාව අත්තාණි පරිහාර බහුලව සිදුව ඇති කාලපරිච්ඡේදය වශයෙන් හඳුනාගත හැක. අනුරාධපුර යුගය ආරම්භක අවධියේ පටන් අත්තාණි පරිහාර ප්‍රදානයන් පවතින්නට ඇති මුත් එය රාජ අනුග්‍රහය යටතේ වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ මානවම්ම රජ පරපුරෙන් පසුව වෙයි. මෙම සම්ප්‍රදායෙහි ක්‍රමික අභාවය වේරගම, ඔරුවල, සංඛපාල වැනි තුඩපත් තුළින් විග්‍රහ වෙයි.

මෙම කණු මත ලිපිය සමඟ සටහන් කරන ලද සංකේත සටහන් විද්වත් මතවාදයන්ට තුඩු දුන් විශේෂිත කරුණු ලෙස දැක්විය හැක.

අත්තාණි පරිහාර කණු තුළින් තත්කාලීන සමාජය තුළ මුල් බැසගෙන පැවති විවිධ අදහස් පිළිබඳව මනා අවබෝධයක් ලැබිය හැක. අත්තාණි කණු වල කරුණු දැක්වීමේ දී ආරම්භයේ සහ අවසානයේ දී යහපත, නීරෝගී බව සහ සෞභාග්‍ය ආදී ප්‍රාර්ථනාවන් සිදුකර තිබෙනු දැකිය හැක. යම් පාඨයක මුල, මැද හෝ අග මෙබඳු මංගලාර්ථ පාඨ යෙදීම පැරණි සාහිත්‍ය කෘති සහ බ්‍රාහ්මණ අදහස් අතර දැකිය හැකි පොදු කරුණකි. එමඟින් තම අදහස නොනැසී දිගු කලක් පවතින බව ඔවුන් විශ්වාස කර ඇත. එමෙන්ම පරිත්‍යාග කරන ලද සාංඝික හෝ පෞද්ගලික දෙය සොරකම් කිරීම මහත් පාපිෂ්ඨ ක්‍රියාවක් වන බවට ද සමාජ මතයක් පැවති බව දැකිය හැක. එලෙස සොරකම් කිරීම හෝ පැහැර ගැනීම මතු ආත්මයන් හි බල්ලන් සහ කපුටන්ව ඉපදීමට හේතු සාධක වන බව ද අතීතයේ දී මිනිසුන් විශ්වාස කරන ලද බව අත්තාණි කණු ලිපි අතර බල්ලන් සහ කපුටන්ගේ සංකේත වැඩි වශයෙන් පැවතීම සාක්ෂි දරයි. එම සතුන් නිරන්තරයෙන් සාගින්නෙන් පසුවන්නන් වීම මේ සඳහා ඔවුන් පාදක කොටගැනීමට හේතු වී ඇත.

“මේ අත්තාණි කණු හින්ද්වන ලදී මේ ආන්නැ උලැඝන කළ කෙනෙක් ඇත්නම් කවුඩු බලු වෙත්වා”

(මොරගොඩ ටැඹ)

අත්තාණි පරිහාර කණු තුළ දක්නට ඇති සංකේත

අත්තාණි කණු වල සඳහන් කර ඇති සංකේත ශ්‍රී ලංකාවේ මුල් කාලීන බ්‍රාහ්මි අක්ෂර සහිත සෙල්ලිපි තුළ අඩංගු වන සංකේතයන්ගෙන් සම්පුර්ණයෙන් ම වෙනස් වෙයි. අත්තාණි කණු මත සටහන් කරන ලද පාඨයට ඉහළින්, පහළින්, කණුවේ දෙපැත්තෙහි මෙන්ම සිව් පස ම විවිධ ආකාරයෙන් මෙම සංකේත දක්වා තිබෙයි. අයිතිගේවැව ලිපියෙහි පැති හතරෙහි ම පාඨයට පහළින් සංකේත දක්වා ඇති අතර කොන්ගොල්ලෑව ලිපියෙහි පැති හතරෙහි ම ඉහළින් සහ පහළින් සංකේත සටහන් කර ඇත. සාප පාඨ තුළ අන්තර්ගත කරුණු දැඩිව සාමාන්‍ය ජනයාගේ මනස වෙත කාවැද්දීම උදෙසා මෙම සංකේත රූප භාවිත කරන ලද බව පෙනෙයි.

අත්තාණි පරිහාර කණු වල බහුලව දැකිය හැකි සංකේත – කපුටා, බල්ලා, නාගයා වැනි සත්ත්ව රූප, වටාපත,

දෑකැත්ත, ඉර සහ හඳ

අත්තාණි පරිහාර කණු වල දුලබව දැකිය හැකි සංකේත – පුන්කලස, දුන්න, ඊතලය, ස්වස්තිකය, ත්‍රිශුලය, හක්ගෙඩිය

මෙම සංකේත එකම ලිපියක වුවද දෙවරක් භාවිත කර ඇති අවස්ථා හඳුනාගත හැකි වෙයි. බහුලව හඳුනාගත හැකි වන ඉර සහ හඳ සංකේත ආකාර අටකින් අත්තාණි කණු මත දැකිය හැකි වෙයි. ඉර සහ හඳ සංකේතයන්ගෙන් අදහස් කරන ලදැයි සැලකෙන කරුණු කිහිපයකි. ඒ අතුරින් රාජ ආඥාවන් නිකුත් කරමින් මෙම ලිපි සටහන් කරන බැවින් එම ආඥා ඉර, හඳ පවතිනා තාක් පවතීවා යන අදහස ඒ අතර ප්‍රමුඛ වෙයි. “හිර් සන්ද් පවත්නා තෙක්” යනුවෙන් ඇතැම් අත්තාණි කණු වල සඳහන්ව තිබීමෙන් මෙය තවදුරටත් පැහැදිලි වෙයි.

සංකේත අතර වන සුනඛ සංකේතය දැක්වීමේ දී ඇතැම් තැනෙක එය කරපටි සහිතව දක්වා තිබේ. බුද්දන්නෙහෙල ලිපිය එබඳු ලිපියකි.

ආරාම ආශ්‍රිත පරිහාර ප්‍රදානයන් වලදී සාංඝික බව පෙන්නුම් කිරීම උදෙසා වටාපත භාවිත කරන ලද බව විශ්වාස කෙරෙයි. නමුදු අභය ආර්යසිංහ මහතාට අනුව මෙය වටාපත සංකේතයක් නොව රාජ්‍යත්වය සංකේතවත් කිරීම උදෙසා යොදන ලද සෝළුලියක සංකේතයකි. එනම් සෙංකෝලයකි. වටාපත ලෙස සැලකෙන මෙම සංකේතය පිළිබඳව තවත් වෙනස් වූ අදහසක් හඳුනාගත හැක.

මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි විසින් අනුරාධපුර සලපතල මළු ආශ්‍රිතව හඳුනාගත හැකි සංකේත පිළිබඳව දක්වන ලද අදහස් මේ සඳහා පාදක වෙයි. අනුරාධපුර අභයගිරිය, ජේතවනාරාමය සහ රුවන්වැලිසෑය යන ස්ථූප සලපතල මළු ත්‍රිත්වයෙහි වැලි කොන්දට ආසන්නව ගල් ඇතුරුම් මත ද වැලි මළුවේ සිට සලපතල මළුවට පිවිසෙන පියගැටපෙළ ආශ්‍රිතව ද ඉතා පැහැදිලි ලෙස දැකගත හැකි සංකේත රූප වෙයි. ඒ අතර ඉර හා හඳ සලකුණු ද ඒ හා ආසන්නයේ මානව රූප ද දැකිය හැක. එම සංකේතයන්ට අමතරව නෙරංචි පෙත් හා සමාන වන සංකේත වර්ගයක් ද දැකිය හැක. ඇතැම් තැනෙක හඳ හා සමාන සංකේතය තුළ කුඩා දරුවකුගේ රුවක් ද දක්වා තිබෙයි. මෙම සංකේත යෝනිය, ලිංගය සහ ගර්භය සම්බන්ධ කරන ලද සංකේත බව විශ්වාස කෙරෙයි. කුඩා දරුවෙකුගේ සංකේතය මඟින් දරු උපත සංකේතවත් කර ඇත.

මහායාන බුදුසමය  අනුරාධපුරය පුරා ව්‍යාප්ත වූ අවධියේ දී මහායාන මත දැරූ භික්ෂූන් විසින් විවිධ ශාන්තිකර්ම මෙම විහාර ආශ්‍රිතව සිදු කර ඇත. සාමාන්‍ය සමාජය තුළ වාසය කරන ලද දරුවන් අහිමි පවුල් සඳහා දරු ඵල ලබාදීම උදෙසා සිදු කරන ලද යම් යන්ත්‍ර මන්ත්‍ර, ශාන්තිකර්ම උදෙසා මෙම සංකේත රූප නිර්මාණය කරන ලද බව විශ්වාස කෙරෙයි.

මෙම කරුණු මත පදනම්ව අත්තාණි පරිහාර කණු මත සටහන් වන වටාපත බඳු සංකේතය ලිංගය, යෝනිය සහ ගර්භය නිරූපණය කරන බවත් එතුළින් මානව වර්ගයාගේ පැවැත්ම පවතිනා තාක් කල් මෙම දීමනාව ද පවතීවා යන අදහසත් ඉදිරිපත් කරන ලද බව සැලකෙයි. පස්වන මිහිඳු රජුගේ පොළොන්නරුව ටැම් ලිපියෙහි ඉර හා හඳ සලකුණු වලට පසුව මානව රුවක් දක්වා තිබීමෙන් මෙම අදහස තවදුරටත් තහවුරු කරගත හැකි වෙයි.

දුන්න සහ ඊතලය සංකේත අබා සලමෙවන් රජුගේ ඇල්ලේවැව ලිපියෙහි හඳුනාගැනෙන දුලබව දැකිය හැකි සංකේත වෙයි. තවද හෙණ්ඩුව සහ හක්ගෙඩි සලකුණ ද අනුරාධපුර අත්තාණි කණු අතර දැකිය හැක. එම සංකේත ඇතුලත් වන අත්තාණි කණු මඟින් ප්‍රදානයන් සිදුකරන ලද ස්ථානය වෙත ඇත්ගොව්වන්ට සහ අස්ගොව්වන්ට, හේවායන්ට ඇතුළුවීමට අවසර නොමැති බව ඉන් අදහස් කෙරෙයි.

 

මේ ආකාර වූ අත්තාණි පරිහාර කණු රැසක් අනුරාධපුර යුගය ආශ්‍රිතව හඳුනාගත හැකි වන අතර බොහෝවිට විහාරාරාම, වෙදහල්, රෝහල් යනාදී ස්ථාන මෙම අත්තාණි පරිහාරයන්ට ලක් වූ බව හඳුනාගත හැකි ප්‍රධාන කරුණකි. කවර තරාතිරමක නිලධාරියෙකුට වුව ද විශේෂිත අවසරයකින් තොරව එබඳු ස්ථාන වෙත ඇතුළුවීමට අවසර නොවුණි.

අනුරාධපුර යුගයෙහි සමාජ, ආර්ථික හැසිරීම පමණක් නොව පරිපාලන තන්ත්‍රය පිළිබඳව ද අවබෝධය ලබාගැනීම උදෙසා අත්තාණි පරිහාර කණු ඉතා සුවිශේෂී වෙයි.